පැරිසිය

නායකයා විවේචනය කිරීම විනෝදය දක්වා තහවුරු කිරීම- ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යයන 03 ට ප්‍රතිචාරයක්

Posted on

ftr-600x320

අප විද්වතා සහ ලේඛකයා මේ සැරේ “සාකච්ඡාව” පටන් අරන් තියෙන්නේ මෙහෙමයි –

“ අපි පසුගිය සතියේ සාකච්ඡාව අවසාන කළේ… ‘‘ඇත්තට ම මේ මොහොතෙ කවුරුන් හෝ සමාජවාදය ගැන කතාකරනවා නම් ඔහු උම්මත්තකයෙක්.’’ යන ප්‍රකාශයෙනි. අද එතැන් සිට කියවමු.

ඒ සඳහා උදාහරණයක් දෙන්න පුළුවන්ද?
ඔව්. මම ඒකට සරල උදාහරණයක් දෙන්නම්.
මේ මෑතක මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි දේශනයකදි පවසා තිබෙනවා ‘දැන් අපිට විප්ලවය කරන්න පුළුවන්’ කියල. ‍”

දැන් අපි විද්වතාගේ අදහස් ගැන කතා කරමු. මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි ගේ තර්කය ඒ කියපු දේවල සන්දර්භයේ තියල විමසීමක් නැහැ. බලන්න විද්වතා ගෙ විග්‍රහය කොයි තරම් අති සරලද කියල. එක අතකින් ඔහු කියනව

“ ලංකාවෙ ශිෂ්‍ය සංගම් එයාට ආරාධනා කරනවා ‘සර් එන්න; ඇවිත් දේශනයක් පවත්වන්න’ කියල. ඔන්න එතකොට එයාට මාර රැඩිකල් හැඟීමක් එනවා. මොකද එයා කතාව පවත්වන්නෙ හෙට වුනත් විප්ලවට සුදානම් වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවො තුන්හාරදාහක් ඉස්සරහනෙ. එකතොට එයා හිතනවා..‘ෂහ් මාරයිනෙ! මෙහෙම මිනිස්සු එකතුවෙනව නම් මොකද විප්ලවය කරන්න බැරි’ කියල.”

දැන් විද්වතා මේ කියන්නෙ නිකම්ම හිතලු නේද? ඔහු හිතනව මහා‍චාර්යතුමා මෙහෙම හිතන්න ඇති කියල. ඒ කියන්නෙ ඔහු මහාචාර්ය වරයා වෙනුවෙන් කතා කරනව. මේවටද ජිජැකියානු  විග්‍රහ කියන්නෙ?

එක අතකින් “ එයා කතාව පවත්වන්නෙ හෙට වුනත් විප්ලවට සුදානම් වෙලා ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවො තුන්හාරදාහක් ඉස්සරහනෙ” කියන මේ විද්වතා අනික් අතට කියනව මෙහෙම

“ නමුත් ඔබ දන්නවනෙ ශිෂ්‍යයො  කියන්නෙ කවුද කියල. ශිෂ්‍යයන්ට වුවමනා සමාජවාදයක් නැහැ. ඔවුන් අදාළ අවස්ථාවෙ ඉදිරිපත්වුණා, මොනව හරි ඉල්ලීම් ටිකක් දිනාගත්තා නැතා ඊළඟ මොහොතෙ ඉන්නෙ වෙනත් ආස්ථානයක ඊට පස්සෙ ඔවුන්ට අවශ්‍යය සමාජවාදයක් නැහැ. කවුරුහරි මේ මොහොතෙ එබඳු සමාජවාදයක් ගැන කතාකරනවා නම්, ඒක ප්‍රහසනයක්. (Comedy) එකක්. කියල මම කියන්නේ අන්න ඒ නිසා. “

දැන් මෙතන විද්වතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගැන කියන ප්‍රතිවිරුද්ධ කාරණා දෙකෙන් හරි මොකක්ද? එයා කියන්න ඉඩ තියෙනව පළවෙනි අදහස මහාචාර්යවරයා හිතන විදිය කියල.  එහෙම බාර ගත්තත්, එකක්,  අපි දන්නෙ නැහැ මහාචාර්යවරයා ඇත්තටම එහෙම හිතුවා කියල. අනෙක මේ විද්වතා කියන්නේ මහාචාර්ය ඩෙස්මන්ඩ් පට්ට මෝඩයෙක් කියල නේද?  එතකොට මහාචාර්ය ඩෙස්මන්ඩ් ට නිතරම මහා ප්‍රසිද්ධියක් දීපු එක්ස් කණ්ඩායමත් පට්ට මෝඩයො කියල කියනව වගේ නේද?

තව එකක් තමයි ශිෂ්‍යයන්ට උවමනා සමාජවාදයක් නැහැ කියන විශ්ව ප්‍රකාශය. කොහොමද එහෙම කියන්නෙ? සමාජවාදය කියල මේ විද්වතා කියන්නේ මොකක් කියලා හිතාගෙනද? ශිෂ්‍යයන්ට බැරිද ලෝකය යහපත් කරන අරගල වලට සහභාගි වෙන්න? පැරිසිය මුල් කර ගෙන ඇති වුණු 1968 ශිෂ්‍ය අරගලය ගැන අහල නැද්ද මේ අය? ඒක ලෝකය සෙළවූ ශිෂ්‍ය අරගලයක් නේද? බලන්න,

https://en.wikipedia.org/wiki/Protests_of_1968

 

ලෝකයේ වෙනත් රටවලත් ශිෂ්‍යයෝ වැදගත් දේශපාලන ව්‍යාපාර වල කොටස් කාරයෝ වෙලා තියෙනව. අවුරුද්දකකට විතර උඩදී කැනඩාවෙ ක්විබෙක් වල ශිෂ්‍යයෝ ආණ්ඩු වෙනස් කරපු ශිෂ්‍ය අරගලයක් කළා මතකද?

https://en.wikipedia.org/wiki/2012_Quebec_student_protests

 

එතකොට කොහොමද මේ විද්වතා කියන්නේ “ කවුරුහරි මේ මොහොතෙ එබඳු සමාජවාදයක් ගැන කතාකරනවා නම්, ඒක ප්‍රහසනයක්. (Comedy) එකක්”  කියල?

 

මොකක්ද  මේ මොහොත? විශ්වය, ඉතිහාසය සියල්ලම සමාජවාදයට විරුද්ධ මොහොතද? මොකක්ද මොහු සමාජවාදය කියල අදහස් කරන්නේ? මෙතන මම කියන්නේ කවුද? ලංකාවෙ ජිජැක් ද? මේව නිකම්ම නිකම් ජිජැක් ගෙ අදහස් දිරවා ගන්න බැරුව කරන අනුකාරක ප්‍රකාශ නෙවෙයිද?

 

මේ බලන්න, මේ ප්‍රකාශයේ තේරුම මොකක්ද? :
විද්වතා කියනව මෙහෙම  – “ මේ මොහොතෙ කවුරුහරි සමාජවාදය ගැන කතාකරනව නම් ඒ කතාකරන්නෙ අදාළ සංකල්පය වාණිජ භාණ්ඩයක් විදියට සලකලා. මේ මොහොතෙ වැදගත් වෙන්නෙ එය නොවෙයි. “

ඒ කියන්නේ මේ මොහොතේ සමාජවාදය ගැන අවංකව කෙනෙකුට කතා කරන්න බැරිද? ඒ ඇයි? බෑ කියන එකට විග්‍රහයක් දෙන්න ඕන නේද?මෙතන එහෙම එකක් තියනවද?

 

දැන් ඔහු ඊළඟට රැඩිකල් වැඩේ මොකක්ද කියල දේශනා කරනව. බලන්න. “මේ මොහොතේ ධනවාදය විසින් පතුරවා ඇති දෘෂ්ටිවාදය අභියෝගයට ලක් කරමින්, ඇත්ත ප්‍රාග්ධනය වැඩ කරන්නෙ කොහොමද කියන කාරණය වටහා ගැනීමයි රැඩිකල් වැඩේ වෙන්නෙ.”

දැන් මේ තව අලුත් අදහසක්. ඒ කියන්නේ සමාජවාදය ගැන කතා කිරීම රැඩිකල් නැති නිසාද ඒක කොමෙඩියක් වෙන්නෙ? මේකද විග්‍රහය. රැඩිකල් ඒව විතරද මිනිසාට වටින්නෙ? රැඩිකල් කියල විද්වතා අදහස් කරන්නෙ මොකක්ද? සමාජය උඩු යටිකුරු කරන මුලින්ම ගලවල වෙනස් කරන ඒවද? එතකොට සමාජයෙ පැවත එන සාමුහිකත්වය රකින සමාජවාදී භාවිතාවන් රැක ගෙන  වර්ධනය කරන එක වටින්නෙ නැද්ද? විද්වතා කියන විදියට ඇත්ත ප්‍රාග්ධනය වැඩ කරන විදිය ( ඒ කියන්නේ බොරු ප්‍රාග්ධනය ? වැඩ කරන විදියකුත් තියෙනව?)

 

දැන් මොකක්ද මේ විද්වතා කියන “මේ මොහොතේ ධනවාදය විසින් පතුරවා ඇති දෘෂ්ටිවාදය” ? “ ඇත්ත ප්‍රාග්ධනය වැඩ කරන්නෙ කොහොමද?” මේ එකක්වත් ඔහු පාඨකයාට පැහැදිළි කරනවද? ඒ මොකුත් නැහැ. ආයෙම වෙන කාරනාවකට යනව. ඉගැන්වීමේ ක්‍රමයක් වශ‍යෙන් මේක අදහන්න වටිනව.

 

නමුත් ඇත්තටම මේකේ රහසක් තියෙනව. ඒ තමයි මේ ක්‍රමය පාවිච්චි කරන එක පාඨකයා සංවිධානය ඇතුළට ඇද ගන්න උපක්‍රමයක් කියන එක. අපි එහෙමවත් හිතමු නේද?

 

දැන් මේව පිටපත් කරන ලේඛකයාට මේ අපිට තියෙන ප්‍රශ්නෙ නැහැ වගෙයි නේද? ප්‍රශ්න අහනවා. උත්තර දෙනවා. ඒවා ලියනවා. අහපු ප්‍රශ්නෙට උත්තර ලැබුනත් නැතත් කමක් නැහැ. ඉදිරියට යනව. හරියට BBC Hard Talk වගේ කියල හිකනව ඇති නේද?මේව ලියන ලේඛකයට මේව ගැන දොස් කියල වැඩක් නැහැ නේද? ඔහු කරන්නෙ හුදෙක්ම ලියන එක පමණක් වන නිසා. නැත්නම් මේ විද්වතාට පුළුවන් නේ තමන්ගේ කටින් පිටවෙන මේ රන්වැකි ආයෙ කියවලා බලන්න පළ කරන්න ඉස්සර වෙලා මේව කියවන උන්ට තේරෙන විදියට තියෙනවද කියල. ( මේක හරියට අර walk the talk රූපවාහිනී වැඩ සටහනක් වගේ තමයි අපිට ඉදිරිපත් කරන්නේ. එකම දේ මේ කතා කරන්නේ නයා-ය වෙන එකයි.)

 

 

බලන්න දැන් මේ ලේඛකයා මේ අදහස් එන්නේ තමාට ‍නෙවෙයි වගේ, එමෙ නැත්නම් විද්වතාගේ කටින් වචනෙ පිටවෙන කොටම  තමන්ට ඒ පිටිපස්සේ තියන නමුත් විද්වතා නොකියන සියලුම දේ වැටහුනා වගේ අලුත්ම බරපතල ප්‍රශ්නයක් අහනවා.

“විප්ලවවාදි පක්ෂය කියන සුන්දර දේ ම එක් පැත්තකින් පරමත්වයක් බවට පත්වෙනවා. මේ ක්‍රියාවලිය පවතින ක්‍රමයට ම ආයාත කිරීමක් නේදඒ වගේ ම එය බරපතල දේශපාලන අනතුරක් වෙන්න පුළුවන් නේද?

දැන් මේ ප්‍රශ්නය තෙ‍්රෙනවාද? විශේෂයෙන්ම මෙහි දෙවෙනි වාක්‍යය? මොකක්ද ඒකේ තේරුම? “ මේ ක්‍රියාවලිය පවතින ක්‍රමයට ම ආයාත කිරීමක් නේද“ තේරෙනවද? 

 

හැබැයි විද්වතාට නම් තෙ‍්රෙනව. ඔහුගේ උත්තරයත් ඒ වගේම ලේඛකයාට තේරෙනව. බලන්න –

විද්වතා කියනව –ඔබේ ප්‍රශ්නය පැහැදිලියි. මෙතන පවතින්නෙ මහා අනෙකාට ඇති බිය යි. වඩාත් පැහැදිලිව කියනවා නම් ඕනෑම සමාජ හිතවාදී දෘෂ්ටියක් අවසාන වශයෙන් සර්වාධිකාරි විභවයක් සහිත යි. විප්ලවවාදි පක්ෂය කියන දේ ම එක් පාර්ශවයකින් පරමත්වයක්. තවත් පැහැදිලිව කියනවා නම්, උත්කෘෂ්ටයට (Sublimation) නැංවෙනවා. ඒක එහි ස්වභාවය.”

 

“ මහා අනෙකාට ඇති බිය” – මේ කියන්නේ අර මීට පෙර ලිපියක කියපු සංකේත පර්යාය –  නීතිය ගැනද? ඇයි මිනිස්සු සංකේත පර්යායට බය වෙන්නෙ? ඒක නේද මිනිස්සුන්ට මේ ලෝකයෙ පවතින්න අවශ්‍ය රාමුව  සපයා දෙන්නෙ? මහා අනෙකාට ඇති බිය කියන එක විශ්වයේ සමස්ත මානව වර්ගයා නිර්ණය කරන පරම සත්‍යයක්ද? නැත්නම් තවත් එක් සංකල්පීකරණයක් පමණක්ද? “ඕනෑම සමාජ හිතවාදී දෘෂ්ටියක් අවසාන වශයෙන් සර්වාධිකාරි විභවයක් සහිත යි” කියන එකත් විශ්වීය සත්‍යයක් ද? ඇයි එහෙම වීම අවශ්‍ය වෙන්නෙ? ඒ කියන්නේ මානවයන්ට සර්වාධිකාරී වෙන්නෙ නැතිව එකට එකතු වෙලා සාමුහිකව හිතවාදී දෙයක් ගොඩ නගන්න බැරිද? වෙනත් විදියකට කියනවා නම් මානවයා ස්වභාවයෙන්ම සර්වාධිකාරය ගොඩ නැංවීමේ විභවය ඇත්තෙක්ද? එහෙම මානව ස්වභාවයක් තියෙනවද? “කලු”  මානව ස්වභාවයක් ගැන අදහසමත් තවත් එක් සංකල්පීකරණයක් නෙවෙයිද?

 

විද්වතා ආයෙම කියනවා –

“ විප්ලවවාදි පක්ෂය කියන දේ ම එක් පාර්ශවයකින් පරමත්වයක්. තවත් පැහැදිලිව කියනවා නම්, උත්කෘෂ්ටයට (Sublimation) නැංවෙනවා. ඒක එහි ස්වභාවය.”

එතකොට මේ අනුව විප්ලවවාදී පක්ෂයකටත් “ස්වභාවයක්” තියෙනව. විකාර අදහසක්. විප්ලවවාදී පක්ෂය හදන්නේ මිනිස්සු. ඒක පරමත්වයට නැංවීම කරන්නේ මිනිස්සු. ඒක ඉබේට වෙන දෙයක් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ මිනිස්සු ඒක පරමත්වයට නංවන්නේ ඇයි? කියන එක පැහැදිළි කරන්න. හැම විප්ලවවාදී සංවිධානයකම පක්ෂයකම අවසානය එය පරමත්වයට නැංවීම කියල කියන්න පුළුවන්ද?

 

විද්වතා මෙහෙම කියනව –

“ ඉන් අදහස් කරන්නෙ: ඕනෑම පක්ෂයක් තමන් උත්කර්ෂයට නංවන වස්තුවක් තිබෙනවා. හෙගලියානු අර්ථයෙන් ගත්ත්තොත් එය ‘පරිපූර්ණ නිමේෂයක්’ කියල හඳුන්වන්න පුළුවන්. අපි හැමෝ ඒ ‘පරිපූර්ණ නිමේෂය’ අත්දකින්න කැමතියි. අපි ගමු ගෝලීය වශයෙන් පැතුරුණු කම්කරු ව්‍යාපාරය. එය පරමත්වයක්. මේක එක් පාර්ශවයකින් ගත්තම දේව වාදයක් වගේ. ඇතැම් විට එහි ආගමික ප්‍රවේශයක් තිබෙන්න පුළුවන්. එහි දී ගැටලුව වෙන්නෙ ඒ සම්බන්ධයෙන් අප තුළ පවතින යටත් වීමේ ප්‍රවණතාවය යි. එය විෂයමූලිකයි.”

මොකක්ද මේ කියන හෙගේලියානු පරිපූර්ණ නිමේෂය? ඇයි ඒක පාඨකයාට නිකමට වත් කියා දෙන්නේ නැත්තෙ? මේක හොඳ ඉගැන්විමේ ක්‍රමයක්ද?

මේ පරිපූර්ණ නිමේෂය කියන්නේ පරම නිමේෂය නැත්නම් absolute moment කියන එකටද කියල පැහැදිළි නැහැ.  හේගල් කතා කරන පරම නිමේෂය විචාරකයන් හඳුනා ගෙන තිබෙන්නේ   “the finitu‍de or particularization of the ego” කියලයි. ඒ ගැන මෙහෙම කියන්න පුළුවන්:

“ The stages (moments) of the Concept in Hegel’s triad are the universal, the particular, and the individual: universality develops, first into particularity, and then into individuality. The universal constitutes the essence of a thing; when a thing is fully developed (actual), the universal is concrete. Hegel denies that thought can refer to unique individuals: it is exclusively concerned with universals.”

http://www.london.ac.uk/fileadmin/documents/students/philosophy/ba_course_materials/ba_19thc_hegel_glossary_01.pdf

ගැටලුව තියෙන්නෙ විද්වතා ගුරු මුෂ්ටිය වගේ එකක්  තියෙනව කියල පෙන්නමින් ඒක හංගනව කියල පෙන්නනව. ඇත්තටම ඔහු මේ කතා කරන ඒව දන්නව නම් කරන්න තියෙන්‍නේ මූලාශ්‍ර දෙමින් මේව විග්‍රහ කරන එක නෙවෙයිද? හේගල් මේ දක්වන අර්ථයට අනුව නම් විද්වතා කතා කරන මේ කාරණයට ඔහු හේගල් ගේ ‘පරිපූර්ණ නිමේෂයක්’ ගැන කරන සඳහන සම්බන්ධ බවක් පෙන්නල නැහැ.

 

අනෙක් අතට ගෝලීය වශයෙන් පැතුරුණු කම්කරු ව්‍යාපාරය ගැන අදහස පරමත්වයක්, දේව වාදයක් වගේ වෙන්නේ පක්ෂයේ ස්වභාවය නිසා නෙවෙයි මාක්ස්වාදී දෘෂ්ටිවාදයේ ඇදහිල්ල නිසා.  මොකක්ද මේ “ යටත්වීමේ ප්‍රවණතාව “ විෂය මූලිකයි කියන එකේ තේරුම? කාටද තේරෙන්නෙ? බලමු දෙන උදාහරණෙන් තේරුම් කරයිද කියල.

 

මෙන්න විද්වතාගේ උදාහරණය- “ ප්‍රභාකරන් නමැති නායකයා ගමු. සාමාජිකයො තුළ ඔහුට තිබෙන ගෞරවය සහ විශ්වාසය හරහා එක්තරා මට්ටමකින් ඒ සාමාජික සාමාජිකාවො ඔහුට යටත් වෙනවා. එක් අතකට මෙය අවශ්‍යය යි. මේ ධනේශ්වර මොහොතේ දී මෙය අපි වටහාගත යුතු යි.”

මොකක්ද මේ “ මේ ධනේශ්වර මොහොතේ දී මෙය අපි වටහාගත යුතු යි” කියන එක විද්වතා පැහැදිලි කරන්නෙ නැහැ. දැන් මේ “යුතුයි” කියන විධානය හරියට අපි කිව්ව පමණින් බාර ගන්න ඕන වගෙයි නේද? ප්‍රභාකරන් විප්ලවවාදී පක්ෂයක නායකයෙක්ද? නැත්නම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙක්ද? ප්‍රභාකරන් නායකයෙක් වුනේ ඔහුට ප්‍රතිවිරුද්ධ මත දරන ඔහුව විවේචනය කරන අය සියලු දෙනා මරලා. ඉතින් මේ විද්වතා ගේ විප්ලවවාදී පක්ෂෙ නායකයා ගැන උදාහරණෙ ප්‍රභාකරන්.  මේව මේ රැඩිකල් බව පෙන්නන්න ඕන හින්ද කියන කතාද? ඒකේ කැමැත්තෙන් බැඳුණු සාමාජිකයො ඉන්නත් පුළුවන්. ඒක හරියට කල්ට් එකක සාමාජිකයො වගේ. ඒ වගේම ඒකෙ සාමාජිකයො විවිධ මට්ටමේ බලාත්කාරය නිසා ඒකට බැඳිලා හිටපු අය. වෙන කරන්න දෙයක් නැති අසරණ තමට ඒකට බැඳුණු අය. ත්‍රස්තවාදී සංවිධානයක නායකයාට එහි සාමාජිකයෝ යටත් වීම අවශ්‍යයි කියන්න පුළුවන් වෙන්නේ ඒ ත්‍රස්තවාදය අපි අගය කරනව නම් නේද? කල්ට් නැත්නම් ලබ්ධියක් ඇදහිල්ලක් ගැන විශ්වාසයක් තියෙන අයට තමයි මේ වගේ කතා කියන්න පුළුවන්. ජිජැක් නම් කල්ට් එකක සාමාජිකයෙක් වගේ පෙනෙන්නෙ නැහැ.

 

විද්වතාට අනුව – “ ඒක් පැත්තකින් පුද්ගල නිදහස කියන දේ උත්කර්ෂයට නංවලා තිබෙනවා. නමුත් මෙය සාර්ථක නැහැ. “

“ ඒක අසාර්ථක මොන පදනමින් ද කියල ඔහු කියන්නෙ නැහැ. ඔහු කියන නිසාම අපි ඒක පිළිගන්න ඕනද?

මේ බලන්න, ඔහු කියනව

“මොකද පක්ෂය තුළ ම තිබෙන සාරය තේරුම් ගන්න පුළුවන් එය තුළින්ම යි. එහෙම නැතිව බාහිර සොයා බැලීමකින් තේරුම් ගන්න බැහැ. ඒ නිසයි අපි එයට යටත් වෙන්නෙ.”

මේ ගැන අපි කල්පනා කළොත්, මේ කියන විදියට යමක් එය තුළින්ම තේරුම් ගන්න හදනව කියන්නේ එයට සමාජමය නොවන සාරයක් තියෙනව කියල විශ්වාස කිරීමයි. ඒ නිසා එයට යටත් වෙනවලු අපි.  දෙවියෙක් ගැන විශ්වාස කරනව වගේ. නමුත් අපි දන්නව පක්ෂයක් කියන්නේ සමාජ නිර්මිතයක්. ඇයි මේ අයට අවශ්‍ය වෙන්නේ සමාජයෙන් හදා ගත්තු දෙයකට  දේව ගතියක් දෙන්න. මාක්ස් හේගල් හරහා ‍ෆොයර්බාක් කියවලා ගත්තු පාඩම නේද මේ reification (ද්‍රව්‍යත්වකරනය, පුද්ගලත්වහරණය) කියන කාරණය. මිනිස්සු හදාගත් දේකට දේවත්වයක් ආරෝපණය කිරීම. එතකොට පක්ෂය කියන්නේ මාක්ස්වාදීන් දෙවියන් පිළිබඳ විශ්වාසය අතහරිනව කියන ගමන් ඒ හිස්තැනට පත් කරන අලුත් දෙවියාද?

 

විද්වතාට  අනුව පක්ෂයට සාරයක් තියෙනව. ඒ කියන්නෙ essence එකක්.  දැන් මෙයා මෙහෙම කියන්නේ ඩෙරී‍ඩාට පස්සෙ. ඒකට කමක් නැහැ, හැබැයි ඩෙරීඩා ගේ විග්‍රහය ප්‍රතික්ෂේප කරන්න පදනමක් පෙන්නලා දීලා. නමුත් එහෙම විග්‍රහයක් මොහු ඉදිරිපත් කරන්නෙ නැහැ. ඉතින් ඔහු කියන නිසා දේවභක්තියෙන් අපි පිළිගන්න ඕන.

 

බලන්න පහත උද්ධෘතය essence සහ appearance (දෘශ්‍යමානය) අතර ඩෙරීඩාගේ විග්‍රහය ගැන කෙරෙන සාකච්ඡාවක් සටහන් කරන. දෘශ්‍යමානයට වඩා සාරය අගය කිරීම ප්ලේටෝ ‍ගේ චින්තනයේ අංගයක්. මේ ලාංකේය ජිජැක් භක්තිකයන් ප්ලේටෝවාදීන් ද?

 

“ the opposition between appearance and essence. Nietzsche had also criticized this opposition but it is clearly central to phenomenological thinking as well. So, in Platonism, essence is more valuable than appearance. In deconstruction however, we reverse this, making appearance more valuable than essence. How? Here we could resort to empiricist arguments (in Hume for example) that show that all knowledge of what we call essence depends on the experience of what appears. But then, this argumentation would imply that essence and appearance are not related to one another as separate oppositional poles. The argumentation in other words would show us that essence can be reduced down to a variation of appearances (involving the roles of memory and anticipation). The reduction is a reduction to what we can call “immanence,” which carries the sense of “within” or “in.” So, we would say that what we used to call essence is found in appearance, essence is mixed intoappearance. Now, we can back track a bit in the history of Western metaphysics. On the basis of the reversal of the essence-appearance hierarchy and on the basis of the reduction to immanence, we can see that something like a decision (a perhaps impossible decision) must have been made at the beginning of the metaphysical tradition, a decision that instituted the hierarchy of essence-appearance and separated essence from appearance.“

http://plato.stanford.edu/entries/derrida/

 

විද්වතා මෙහෙම කියනව –

“අපිට දෙවියන් තේරුම් ගන්න නම් එයට ම අදාළ සංවාදයකට (Discourse) යන්න වෙනවනෙ. ඒ වගේ ම පක්ෂය තේරුම් ගන්න වෙන්නෙ පක්ෂයට ම අදාළ සංවාදයක් හරහා.”

 

මේ කියන විදියට පක්ෂය දෙවියො වගේ. ඒක විශ්වාසයක්. භක්තිකයන්ට දෙවොලක්. ලබ්ධියක්. කල්ට් එකක්. ඒකට පිටින් ගේන විවේචන අදාළ නැහැ.

 

විද්වතා මේ දේව ධර්මය ඉදිරියටම ගෙන යනවා මේ විදියට –“ මෙන්න මෙය තුළ පෙර කී පරිදි උත්කර්ෂයට නැංවෙන වස්තුව: එහෙම නැත්නම් ඒ පක්ෂයේ නායකයා, නායිකාව හෝ නායකයන්ට අපි ගෞරව කරන්න පෙලඹෙනවා. ඒ ගෞරවයත් සමග ම යටහත් බවක් දක්වනවා. එය නායකයා ප්‍රශ්න නොකිරීම දක්වා වර්ධනය වෙනවා. පක්ෂයක එයත් තිබිය යුතුයි. “

පක්ෂයේ නායකයා, ලෙනින්, ස්ටාලින්, මා ඕ – තමයි පක්ෂය ‍ ආගමක් කර ගැනීම නිසා උත්කර්ෂයට නැංවෙන වස්තුව. මේක ගෞරවයක් කියන්නෙ පුද්ගලයාගේ ක්‍රියාව පදනම් කර ගත් එකකට වඩා ආගමේ නායකයා විදියට සැළකීමෙන් වෙන දෙයක්. හැබැයි, බුදුන් වහන්සේ මිනිස්සුන්ගෙන් පිදුම් ලැබුවේ උන් වහන්සේගේ ක්‍රියා කලාපයෙන් දිවි පැවැත්මෙන් මතු වූ කරුණු නිසා මිසක ඔහු ආගමික නායකයෙක් වූ නිසා නෙවෙයි. පසු කාලෙක බුදුදහම ආගමක් බවට පත් වුනාම මේ තත්වය වෙනස් වෙනවා.

නායකයා ට යටහත් වීම,  ඔහු ප්‍රශ්න නොකිරීම,  කල්ට් වල ඇදහැලි වල ලක්ෂණයක්.

දැන් මේ විද්වතාට අනුව නායකයා ප්‍රශ්න  නොකිරීම පක්ෂයක තිබිය යුතු දෙයක්.

 

විද්වතාට අනුව පක්ෂයේ නායකයා ප්‍රශ්න කරන්න පුළුවන් එකම ක්‍රමය අභ්‍යන්තර විවේචනය ලු.

“ ඔව්… නායකයා ප්‍රශ්න කළ යුතු යි. ඒකට අපි කියන්නෙ ‘අභ්‍යන්තර විවේචනය කියලා.”

ඔහු කියන්නේ නැහැ මේක අයිති මාක්ස්වාදී පක්ෂ වලට විතරක් කියල. මේක සියලුම දේශපාලන පක්ෂවලට සංවිධාන වලට දේශපාලන නොවන සංවිධාන වල‍ටත් අදාළ විය යුතුයි නේද?

 

හරිනං අපි දැන් විද්වතාගේ නම මාරු කරන්න ඕන පූසාරි කියන පදයට. එතකොට ලේඛකයා කවුද? ආවතේව කාරය – ඒ කියන්නේ කපුරු කට්ටකුමංජල් අල්ලන්නා? පක්ෂය නමැති දෙවොල ඇතුළේ ඉන්නව නායක දෙවියෝ -තිරෙන් පිටුපස. එතකොට අභ්‍යන්තර විවේචනය කියන්නේ මොකක්ද පූසාරි හරහා දෙවියන්ට කන්නලවු, යාතිකා කියන එක. දැන් මේ පූසාරි මේ ලිපි ලියමින් ඔබට ආරාධනා කරන්නේ එන්න දෙවොලට කියා නේද?

 

මේ දේවාල න්‍යාය අයිති නූතනයට නම් නෙවෙයි වැඩ වසම් සමාජයට. මේ අයට අවශ්‍ය ලෝකය අතීතයට ආපසු ගෙන යන්න. ජිජැක් ඒ වගේ මෝඩයෙක් බව පේන්නේ නැහැ ඔහුගේ සමාජ ජීවිතය බැලුවත් පෞදගලික ජීවිතය බැලුවත්. ඔහු දේවවාදී පක්ෂයක හිරකරලා තියන්න පුළුවන් අනුකාරකවාදී මනසක් ඇති කෙනෙක් නෙවෙයි. ඔහුගේ අදහස් අපි පිළිගත්තත් නොගත්තත් ඔහු ස්වාධීනව හිතන පුද්ගලයෙක්.

 

දැන් මේ  පූසාරි  කියන විදියට  මේ කාරණේ මහින්ද රාජපක්ෂටත් අදාළයි.  රනිල්ටත් අදාළයිලු. බලන්නඔහු කියනවා මෙහෙම:

 

“ නමුත් ලංකාවෙ නොවෙන්නෙත් මේක. පවතින්නෙ ඇත්තට ම ප්‍රශ්න කිරීම නොවෙයි. ‘යර්ස් සර්, ඔව් සර්’ කියල ඔළුව නවල එළියට ගිහින් පට්ට යන්න බනිනවා. ඒ නිසා තමයි හුඟක් නායකයො විනාශ වුණේ. මහින්ද රාජපක්ෂ ඇතුළු බොහෝ නායකයො විනාශයට පත්වුණේ මෙන්න මේ කාරණාව නිසා. “  “ එක් අවධියකදි රනිල් වික්‍රමසිංහ විවේචනය කළ ආකාරය.” එළියෙදි “ නායකයාට කොන්දේසි විරහිත ගෞරවය”  සහ “ පක්ෂ අභ්‍යන්තරයේ නායකයා ප්‍රශ්න කිරීම.”

 

ඒ කියන්‍නේ,  පූසාරි කියන්නේ,  පක්ෂ සාමාජිකයන් මොන පක්ෂය වුනත් තමන්ගේ නායකයාව පක්ෂෙන් එළියේ විවේචනය කරන්න නරකයි කියල. ප්‍රශ්නෙ තියෙන්නේ යර්ස් සර් කියල ඇතුලෙදි ඔළුව නවල එළියට ගිහින් විවේචනය කරන්නේ තමන් දෙවියා බවට උත්කර්ෂණයට නංවල තියෙන නායකයව ඇතුළෙදි කොහොමත් විවේචනය කරන්න බැරි නිසා නේද?

 

“ උත්කර්ෂයට නැංවෙන වස්තුව” “ අපි ගෞරව කරන්න පෙලඹෙන” “ ඒ ගෞරවයත් සමග ම යටහත් බවක් දක්වන” නායකයා අභ්‍යන්තරව ප්‍රශ්න කරන්නේ කොහොමද? මෙතන මේ අදහස් දෙක අතර ගැටුමක් තියෙනවා. දේවත්වයට පත් කරපු පක්ෂයක දෙවියා බඳු නායකයා ප්‍රශ්න කරන්න ඉඩක් තියෙනවද ඇතුලේ? නැහැ.ඉතින් මෙතන තියෙන උභතෝකෝටිකය මේකයි. ඇතුළෙදි විවේචනය කරන්න පුළුවන් නම් මෙහෙම වෙන්නෙ නැහැ නෙ?

 

දැන් අපි කලින් කිව්ව කාරණේ ආයෙමත් අහන්න ඕන. මේ එළිපිට විවේචනය නොකිරීම අදාළ වෙන්නෙ පක්ෂ සාමාජිකයන්ට පමණයි. ඒක ඕන පක්ෂයකට අදාළයි. නමුත් පක්ෂ සංවිධාන නායකයන් ‍ නොවන අයට පක්ෂය සංවිධානය විවේචනය කරන්න පුළුවන් විය යුතුයි. ඒ කියන්නේ දේශපාලන පක්ෂ / සංවිධාන සාමාජිකයන් එහි නායකයා/යන් පක්ෂය/සංවිධානය පිටතදී විවේචනය නොකළ යුතුය යන අදහස. මේක පක්ෂයකට පමණක් නෙවෙයි ඕනම සංවිධානයකට අදාළ කාරණයක් වෙන්න ඕන නේද? හැබැයි ඇතුළෙදි විවේචනය කිරීමේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂයේ සංවිධානයෙ නැත්නම් විවේචනය එලියට යනවා නේද?

 

 

 

“ ඇතැම් අය කියනවා දීප්ති විවේචනය කරන්න බැ කියල ” අහන ඊළඟ ප්‍රශ්නෙට පූසාරි ගෙ උත්තරේ මේකයි.

 

දීප්ති දෙවියා ගැන කතා කරමින් පූසාරි කියනව “ දීප්තිව විවේචනය කළ හැකියි” නමුත් ඔහු විවේචනය කළ යුත්තේ “සංකේතීයව නායකයා විනාශ නොකළ යුතු” විදියටයි කියල. මේ කියන්නේ දීප්ති ව ජෝක් කරන්න එපා, එයා‍ව සීරියස් අරන් විවේචනය කරන්න කියල. ගැ‍ටලුව තියෙන්නේ දීප්ති අනිත් ‍හැමෝම ජෝක් එකට ගත්තම අනිත් හැමෝම සංකේතීයව විනාශ කරළ එයා විතරක් සංකේතීයව වැජඹෙන්න හැදුවම අනිත් අය නිකං ඉඳීවිද කියන කාරනෙ ඇතුළෙයි. ඉතින් ඒ තත්වය තුළ මොන පරම්ත්වය ගෙනාවත් වැඩක් වෙන්නෙ නැහැ නේද?

 

පූසාරි මෙහෙම කියනව – “ පක්ෂ සාමාජික සාමාජිකාවො සියලු දෙනාම දන්නෙ නැහැනෙ නායකය කොහොම කෙනෙක් ද කියල. එහෙම දැනගන්න අවශයත් නැහැ.  නායකය එහෙම කියන්න අවශ්‍යයත් නැහැ.”

 

හරිනම් ප්‍රශ්නෙ ඇයි එහෙම අවශ්‍ය නොවෙන්නෙ කියල. නායකයට මොනවද පක්ෂෙ සාමාජිකයන්ගෙන් හංගන්න තියෙන්නෙ? ඇයි සාමාජිකයො දැන නොගත යුත්තෙ එයා කොහොම කෙනෙක්ද කියල? ඇත්ත දැන ගත්තොත් සංකේතීයව එයා විනාශ වෙයි කියලද? එහෙනං ඒ ව්‍යාජ නායකත්වයක් නේද? පූසාරි කියන්නෙ තිරය ඇරියොත්  බැතිමතුන් දකීවි කියල තිරෙන් පිටුපස තියෙන්නේ බොල් පිළිමයක් කියල.

 

දැන් පූසාරි මෙහෙම කියනවා – “ අපි මේකට ජිජැක්ගෙ ම උදාහරණයක් ගනිමු. මෙය හෙගලියානු සම්බන්ධයක්. ජිජැක් ජිවත්වෙන්නෙත් පවතින ක්‍රමය තුළ ම යි. හබමාස් ජිවත් වෙන්නෙත් පවතින ක්‍රමය තුළ ම යි. මොකද හැම තැනම පවතින්නෙ ධනවාදය. නමුත් ජිජැක් ඉන්නෙත් පවතින මඩගොහොරුවේම කියල අපි හිතනවා නම් එය වැරදියි. එහෙම නොවන්න කාරණාවක් තියෙනවා.”

 

දැන් පූසාරි කියන්නේ නැහැ මොකක්ද මේ හෙගේලියානු සම්බන්ධය කියල. නිකං ඔහේ කියනව. යාතිකා කියන ‍කොට ඔහේ මොනවා හරි දෙවිවරුන් ගේ නම් කියවනව වගේ. දැන් ධනවාදය යටතේ ජීවත් වන අයට පවතින ක්‍රමයෙන් සහමුලින්ම ගැළවිලා ඉන්න තැනක් නැහැ කියන එකත් හරියට දේව වාක්‍යයක් වගේ සත්‍යයක් නේද? එහෙම කියන ගමන් පූසාරි හදනව දැන් ජිජැක්වත් දෙවියෙක් කරන්න. ඒ මාර්ගයෙන් දීප්තිවත් දෙවියෙක් කරන්න හිතාගෙන වගෙයි.

 

පූසාරි කියනව මෙහෙම – ජිජැක් ට “ කම්කරු සංගමයකින්  දේශනයකට ආරාධනා කරනවා. නමුත් ඔහු එය මගහැර එදාම යුරෝපීය පශ්චාත් අධ්‍යන ආයතනයේ දේශනයක් සඳහා සහභාගි වෙනවා.” “ ඇමරිකානු ඇකඩමියාව නමැති තැනට ඔහු යනවා. නමුත් කම්කරු සංගමයේ තිබෙන දේශනයට යන්නෙ නැහැ. “

 

ඉස්සරවෙලාම මේ යුරෝපය සහ ඇමරිකාව එකට පටලවා ගැනීම ලිහා ගත්ත නම් හොඳයි නේද? කියන වෙලාවෙ මොලේ පොඩ්ඩක් පැටලුනා වුනත් ලියන කොට පළ කරන කොට එක වතාවක් නෙවෙයි දෙවතාවක්ම මේක ඒ විදියටම තියෙන්න අරින එක පාඨකයා ‍මෝඩයන්ට ගැනීමක්‍ නේද?

 

අනෙක, පූසාරි මේ ජිජැක්ව ධනවාදය ඇතුළේ ඉන්න ගමන් ඒකට අහු නොවී මඩෙන් ඉහළට එසවුණු නෙලුමක් කියල පෙන්නන්න කියන කතාව ගැන මූලාශ්‍රයක් දෙයිද කියල බලා ගෙන ඉඳිමු. එහෙම නැත්නම් අපිට පූසාරිගේ යාතිකාවට “එසේය ස්වාමීනී” කියනව ඇරෙන්න කරන්න දෙයක් නැතිවෙනව නේද?

 

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත