Month: September 2015

“ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යයනය”(පශ්චාත් යථාර්ථවාදී වියමනක්) – ප්‍රපංචවේදී විසිනි

Posted on Updated on

slavoj-zizek-and-karl-marx-caricature

මේක පැහැදිළිවම පශ්චාත් යථාර්ථවාදී වියමනක්.සම්මුඛ සාකච්ඡාවේ ප්‍රශ්න අසන්නා සහ ඒවට පිළිතුරු ලියන්නා සහ පිළිතුරු දෙන්නා එකම සංවිධානයේ සාමාජිකයන් ලෙස කතා කරනවා. ලිපිය පටන් ගන්නේ මෙහෙමයි.

“ වසර 2005 සිට ජාතිකවාදී දේශපාලනය සහ සංවිධානය විය යුත්තේ කෙසේද යන ගැටලුවට නිශ්චිත පිළිතුරක් හමු නොවීම නිසා අපගේ සංවිධානයේ සමාජීය දේශපාලන අධ්‍යාපනය බිඳ වැටුණේය.“

මේ ලියන්නේ ප්‍ර‍ශ්න අසා ඒවාට පිළිතුරු ලියන්නා. ඒ අනුව ඔහුත් “අප සංවිධානයේ“ – ඒ කියන්නේ ( එක්ස් කණ්ඩායමේ ? ) සාමාජිකයෙක්.

මේ අය 2005 වසරේ සිට ගැටලුවකට නිශ්චිත පිළිතුරු හොයලා තියෙනවා. ඒ තමයි<
“ ජාතිකවාදී දේශපාලනය සහ සංවිධානය විය යුත්තේ කෙසේද යන ගැටලුව“. ඒ කියන්නේ ජාතිකවාදී දේශපාලනයට එරෙහිව සංවිධානය විය යුත්තේ කෙසේද? කියන එකද? නැත්නම් ජාතිකවාදය කියන ගැටලුව සහ සංවිධානය විය යුත්තේ කෙසේද? මෙතන ගැටලුව යනු ගැටලු දෙකක් ද?

ලේඛකයා මෙහෙම ලියනවා.

“ එම අඩුව පිරවීම සඳහා විවිධ පන්නයේ මධ්‍යම – පාන්තික (පහළ මැද පන්තිය) රැඩිකලූන් සහ රැඩිකල් මනෝ ව්‍යාධිකාරයන් ආදේශ විය. එවැනි විකාර පටන් ගත්තේ ලේක්හවුස් පුවත්පත් දෙකක් වන ‘දිනමිණ’ සහ ‘සිළුමිණ’ පුවත්පත් දෙකෙනි. එය ඉන්පසු සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (රංජිත් පෙරේරා) හරහා වාර්ගික ආයතනය උඩින් ගොස් කතිකා අධ්‍යයන කව තුළින් අවසන් වී ඇත. මේ කිසිදු විකාරයකින් ලංකාවේ වාමාංශික චින්තනයට කිසිදු සුගතියක් අත් නොවුණි. සිදුවූයේ වාමාංශික චින්තනය අභ්‍යන්තරයෙන් ඇමීබාකරණය වීම පමණි.“

මේ ලේඛකයාට අනුව ඔවුන් ගේ සංවිධානයේ නොහැකියාව පිරවීමට ආ අය මනෝව්‍යාධිකාරයන්. මෙසේ කියන්නට ඔහුට මනෝ ව්‍යාධිවේදය පිළිබඳවෘත්තීය පුහුණුවක් තියෙනවා වෙන්න ඇති. ඔහුට අනුව ඔවුන් කර ඇත්තේ විකාර. ඒවා විකාර වෙන්නේ මන්ද කියා ඔහු කියන්නේ නැහැ. ඔහුට අනුව දැන් අවසන් වී ඇති මේ විකාර වලින් සිදුවී ඇත්තේ අගතියක්. ඒ තමයි ලංකාවේ වාමාංශික චින්තනය ඇතුළතින් ඇමීබාකරණය වීම. ඒ කියන්නේ පිටතිනුත් ඒක ඇමීබාකරණය වෙන්න පුළුවන්. ඔහුට අනුව වාමාංශික චින්තනය එකක් විදියට තියෙන්න ඕන, නොබෙදී, විභේදනය නොවී. ජිජැක් කියන චින්තකයා බිහිවෙන්නෙත් එහෙම එකක් විදියට තිබුණු වාමාංශික චින්තනයකින් වෙන්න ඕන. ලංකාවෙ වාමාංශික චින්තනය කියන්නෙ මොකක්ද? මේ කියන විකාර කරපු අය එන්න ඉස්සරවෙලා ඒක එකක් විදියට තිබුනද? ඒ මොකක්ද?

“ ‘කොමියුනිස්ට්වාදය’ යනු මනෝ රාජ්‍යයක් නොව විද්‍යාත්මක දර්ශනයක් මත පදනම්ව ගමන් කළ හැකි සාමූහික ප‍්‍රජාවක් පිළිබඳ අදහසකි. මාක්ස්වාදය යනු ධනවාදය පමණක් නොව ‘ප‍්‍රාග්ධනය’ද විචාරය කරන විද්‍යාවකි. “

මාක්ස්වාදය විද්‍යාවක් වන්නේ ස්වභාවික විද්‍යාවන් මෙන් යථානුභූතවාදී (positivist) පදනමක් ඊට ඇත යන අර්ථයෙන්ද? කොමියුනිස්ට්වාදී ප්‍ර‍ජාවකට විද්‍යාත්මක දර්ශනයක් මත පදනම් ව ගමන් කරන්නේ කොහොමද? මේ වගේ අනන්තවත් ප්‍ර‍ශ්න මතුවෙනවා මේ ලිපියේ කියන දේවල් වලින්.

මේ ලිපි පෙළ “ කොළඹට පැමිණ පොරවල් වන්නට ආසා කරන ගම්වල දුප්පත් තරුණ ජනයා ට “ එසේ නොකොට “ ඒ වෙනුවට ඒ ඒ පළාත්වල ජීවත් වෙන්නට“ කරන දිරිගැන්වීමකි. ඒ කියන්නේ මේ ලිපි පෙළින් ජිජැක්ගේ දර්ශනය හදාරා ගමේ ඉඳපල්ලා යන්නයි. මෙය කතිකාවතක් යයි ලේඛකයා කියයි. ඒ කියන්නේ දඹදෙණි කතිකාවත වගේ එකක්ද?

ඓතිහාසික අත්දැකීමක් ලෙස ‘සමාජවාදය’ අසමත් වුනාලු. ජිජැක් කරන්නේ ඒකට විසඳුමක් දෙන්න හදන එක. ඉතින් ඒකෙදි ජිජැක් අවධි දෙකක් පසු කරාලු. ලේඛකයා මෙහෙම කියනවා.

“පළමු යුගයේ පදනම ‘මහා – අනෙකා’ නැත යන ප‍්‍රවාදය නම්, දෙවන යුගයේ පදනම ‘මහා – අනෙකා’ අවිඥානික විමර්ශකයක් ලෙස ගෙන සාමූහික ප‍්‍රශ්නවලට අදාළව ‘භක්තිය’ මත පදනම්ව සාමූහික ප‍්‍රජාවක් ගොඩනැගීමයි. පළමුවැන්න ආගම විවේචනය කිරීමක් නම් දෙවැන්න ආගම යනු දෘෂ්ටිවාදය විචාරය කිරීමේ පදනම ලෙස ගැනීමකි.“

දැන් ගමේ හරි නගරෙ හරි ඉන්න තරුණයා ඉහත වාක්‍ය දෙක ලිහා ගන්නේ කොහොමද? මං හිතන්නේ මේ ලිපි වල ඉස්සරහට මේක ලිහල දෙයි ආධුනික ගැමි තරුණයාට.

මහා-අනෙකා යනු කුමක් ද? මෙය සරලව තේරුම් ගත හැකි මූලාශ්‍ර‍ක් තියෙනවද? සිංහලෙන්? ඉංග්‍රීසියෙන් නම් තියෙනව. අපි ඒ ගැන පස්සෙ කතා කරමු.
ඊළඟට, මෙතන
“විමර්ශකය“ කියන්නේ මොකක්ද? ඉංග්‍රීසියෙන් review කියන එකද? නැත්නම් inquiry කියන එකද?

“ආගම යනු දෘෂ්ටිවාදය විචාරය කිරීමේ පදනම ලෙස ගැනීමකි“ යන අදහස ආගම විවේචනය කිරීම හා සමාන නොවන බව මෙතන කියනවා. මේ කියන්නේ දෘෂ්ටිවාදය විචාරය කරන්න ආගම පදනම් කරගන්නවා කියන එකද? මෙතන දෘෂ්ටිවාදය කියන්නේ මොකක්ද? විවේචනය සහ විචාරය අතර තියෙන වෙනස පාඨකයා තේරුම් ගන්නේ කොහොමද? ඉස්සරහට ඒව ඔක්කොම ලිහල දෙයි නේද?

ඔන්න දැන් ලේඛකයා පළවෙනි වතාවට ප්‍ර‍ශ්නයක් අහනවා ජිජැක් ගැන කියා දෙන කෙනාගෙන්. ඉතිං මෙච්චර වෙලා ජිජැක් ගැන කිව්වෙ ලේඛකයා කියල අපිට හිතාගන්න වෙනව. ඒ කියන්නෙ ඔහුත් ජිජැක් ගැන හොඳට දන්න කෙනෙක්.

මෙන්න ලේඛකයා / ප්‍ර‍ශ්න විචාරකයා පළමුවෙන්ම කියන දේ

“මම කැමැතියි ඔබ කැමැති තැනකින් ම කතාව ආරම්භ කරන්න“


දැන් ඔන්න ජිජැක් ගැන දන්න විද්වතා ප්‍ර‍ශ්නෙට උත්තර දෙනවා.

“ලංකාවේ බොහෝ දාර්ශනිකයන්ට වගේ ම උගතුන්ට, බුද්ධිමතුන්ට ජිජැක් හමුවෙන්නෙ දීප්ති කුමාර ගුණරත්න හරහා“ කියලයි. දැන් මේ වෙනස් කතාවක්. කොහොම වුනත්, ඉතින් මේ දීප්ති හරහා ජිජැක් හමුවූ ලංකාවේ දාර්ශනිකයන් උගතුන් කවුද? ජිජැක් හමුවෙන එක වැදගත් ඇයි? ජිජැක් දැන් අපේ සියලු ප්‍ර‍ශ්න විසඳලා දෙනවද?

ලංකාවේ සමාජයට මාක්ස් හඳුන්වා දුන්නේ කවුද කියල කවුරු හරි කියනවා අහල තියෙනවද?
ඒ එක්කම විද්වතා කියනවා
“දැන් ලංකාවෙ බොහෝ පිරිසක් ජිජැක් ගැන දන්නවා. “ මොනවද දන්නෙ? ඒකෙන් ලංකාවෙ සමාජයට මොකද වුනේ? මේ ලිපිය ආරම්භයේදී ලේඛකයා කිව්වේ

“ඔහුගේ චින්තනය අවුල් කිරීම සඳහා සමාජයට කරන ලද කැත වැඩ සමූහයට අදාළ වගකීම සාමූහිකව අපි බාර ගන්නෙමු. බොහෝ කැත වැඩ කෙළේ අපේ සංවිධානයේම පැරැණි සගයන්ය.“ කියලයි. ඉතින් හඳුන්වා දීමෙන්ම මොකුත් සාධනය වෙන්නෙ නැති බව මේකෙන් කියවෙනවා නේද? දැන් මේ හඳුන්වාදීම නැතිනම් චින්තනයේ කොපි රයිට්ස් තියා ගැනීම ගැන ජිජෙකියානු විග්‍ර‍හය වනු ඇත්තේ මොකක්ද? කොහොම වුනත් බුදුන් වැදල පටන් ගන්න මේ ආගමික කතාව තුළ විද්වතා ඊළඟට කියනවා “ආසියානු කලාපයේ ම වැඩිපුර ජිජැක් ගැන කතා කරන්නෙ ලංකාවෙ.“ කියල. කොහොමද දන්නෙ නැහැ මේ නිගමනයට එළඹුනෙ. ඔහු කියනව “ඒකට හේතුව දීප්ති. “ මේ කියන්නෙ දීප්ති ඒ තරම්ම ජිජැක් ගැන ලංකාවෙ කතා කළා කියල වෙන්න ඇති. එකත් ඇත්ත වෙන්න ඇති. ප්‍ර‍ශ්නෙ තියෙන්නෙ ඒ කතාවෙන් ප්‍ර‍ථිඵලයක් වුනේ නෑ වගෙයි නේද? ඒකනේ ආරම්භයේදී කිව්වෙ වැඩේ අවුල් කළේ “අපිමයි“ කියල. ඒකනේ දැන් මේ අලුතින්ම පටන් ගන්න වෙලා තියෙන්නෙ.

මෙන්න, ලේඛකයාගේ දෙවැනි ප්‍ර‍ශ්නය

“හොඳයි… අපි කතා කරමු ලංකාවට අදාළ වෙන්නෙ කොහොමද කියල“

මෙන්න උත්තරේ. ඉස්සරවෙලා කියනව එක කාරණයක්.

“ එතැනදි අපිට වඩාත් ම වැදගත් වෙන්නෙ අපි ඉන්නෙ ධනවාදයේ කුමන ස්ථානයේද කියන කාරණය. ධනවාදය අපිට වැදගත් වෙන්නෙ කුමන අවස්ථාවේද? අපිට ඒ අවස්ථාවේ ධනවාදය අතික‍්‍රමණය කළ හැකි ද? යන සන්දර්භය තුළයි අපිට ජිජැක් පිළිබඳ කතා කරන්න පුළුවන් වෙන්නෙ.“

ඒ ප්‍ර‍ශ්න එකකටවත් උත්තර නැහැ. ඊළඟට වෙන කාරණාවකට බහිනව. මං හිතන්නේ මේ ආරම්භයනේ. ප්‍ර‍ස්ථාවනාව. ඉදිරියට මේ ඔක්කොම එකින් එක පැහැදිළි කරන්නයි යන්නෙ.

“මම හිතන්නෙ අපිට ජිජැක් වැදගත් වෙන්නෙ කාරණා දෙකක් නිසා. එකක් නම් ජිජැක් මාක්ස්වාදියෙක් කියන කාරණය නෙවෙයි. ජිජැක්ට දේශපාලන ඉතිහාසයක් තිබෙනවා කියන කාරණය. ඔහු ක‍්‍රියාකාරී දේශපාලනය තුළත් සිටිනවා. ඒ වගේ ම ඔහු පරිණාමය වෙන්නෙ ඓතිහාසික දේශපාලන සාකච්ඡාව තුළ ම යි. මෙන්න මේ කාරණාව නිසා ජිජැක් එක් අතකින් වැදගත්.“

ජිජැක් මාක්ස්වාදියෙක් වීම වැදගත් නැහැ. හැබැයි ආරම්භයේදී ලේඛකයා කිව්ව “‘කොමියුනිස්ට්වාදය’ යනු මනෝ රාජ්‍යයක් නොව විද්‍යාත්මක දර්ශනයක් මත පදනම්ව ගමන් කළ හැකි සාමූහික ප‍්‍රජාවක් පිළිබඳ අදහසකි. මාක්ස්වාදය යනු ධනවාදය පමණක් නොව ‘ප‍්‍රාග්ධනය’ද විචාරය කරන විද්‍යාවකි “ කියල. මේකෙන් ඇගවුණේ ජිජැක් ගේ කතාවට මේව ඔක්කොම වැදගත් කියල. හැබැයි දැන් කියනව එමෙ නැහැ කියල. මේක ලේඛකයා සහ විද්වතා ජිජැක් පිළිබඳ දරණ අදහස් වල වෙනසක් වගෙයි පේන්නෙ.

දැන් විද්වතා කියනවා“ජිජැක් වැදගත් වන දෙවන කාරණාව වෙන්නෙඔහු දෘෂ්ටිවාදය විවේචනය කිරීම“ කියල.ඒ කියන්නෙ වෙන කවුරුත් ඒක කරන්නෙ නැති නිසාද? නැත්නම් ජිජැක් ඒක කරන විදිය අලුත්ම විදියක් නිසාද?

ඊළඟට විද්වතා කියනව “ ඇත්තට ම මේ මොහොත දෘෂ්ටිවාදියි. මේ පවතින යහපාලනය ඇතුළු හැම දේශපාලන සන්දර්භයක් ම ගොඩනැගෙන්නෙ දෘෂ්ටිවාදය මත. මේ හැම දෙයක් ම දෘෂ්ටිවාදයක් ලෙස ගොඩනැගෙන විට ධනවාදය ඇවිත් ඇ‍ෙඟ් හැපෙනවා.“ කියල.
දැන් මේ කියන්නෙ මොකක් කියලද අපි හිතාගන්න ඕන. දේශපාලනය දෘෂ්ටිවාදය මත, ඒ ලෙස, ගොඩ නැගෙන්නක් කියන එක වගෙයි පේන්නෙ. මෙතන දෘෂ්ටිවාදය කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල කියන්නෙත් නැහැ. මේ මොහොත කියන්නෙ මොකක්ද? ලංකාවෙද? ලෝකයෙමද? එතකොට ධනවාදය ඇවිත් ඇගේ හැපෙනවා කියන්නේ මොකක්ද? දැන් විද්වතා ඒ සදහා උදාහරණයක් දෙනවා මෙන්න මෙහෙම.

“ එහි හොඳම අවස්ථාව වෙන්නෙ මහබැංකු ප‍්‍රශ්නය. අපි කවුරු කොහොම කතා කරත් ප‍්‍රාග්ධනය ක‍්‍රියාත්මක වෙන විදියක් තිබෙනවා. මේ පාලකයො කිව්වද ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙනව කියල, එහෙම නැත්නම් ධනවාදය මානුෂිකකරණය කරනව කියල? නැහැ. ඇයි ඒ? ධනවාදයට ඒ කතන්දර අවශ්‍ය නැහැ. එය ඍජුව ම ක‍්‍රියාත්මක කරන හෝ ක‍්‍රියාත්මක වෙන විදියක් තිබෙනවා. අන්න ඒ විදිය නිර්වස්ත‍්‍රව ම දැකපු අවස්ථාව වෙන්නෙ මහබැංකු සිද්ධිය. එතැනදි අහවලා අහවලා වැරැදියි කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක ක‍්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල සාකච්ජාව කරන්න අවශ්‍ය යි. අපි මොන තර්ක ගෙනාවත් එය ක‍්‍රියාත්මක වෙන්නෙ එයට ම ආවේණික තර්කයක් තුළ. ඒ නිසා අපට මහබැංකුවේ සිද්ධිය හරහා ප‍්‍රාග්ධනයේ තිබෙන අශ්ලීල (Obscene) කොටස හමුවෙනවා. එය මීට පෙරත් නිර්වස්ත‍්‍රව ම සිද්ධ වුණා. නමුත් කවුරුවත් දැක්කෙ නැහැ. ඒ නිසා අපි මේ යහපාලනය ගැන කෙතරම් කතා කළත් ගැටලුව තිබෙන්නෙ එතැන නෙවෙයි. ප‍්‍රශ්නය තිබෙන්නෙ ධනවාදය ක‍්‍රියාත්මක වෙන ස්ථානයේ. ජිජැක් වගේ දාර්ශනිකයෙක් අපිට වැදගත් වෙන්නෙ අන්න එතැනදි යි.“

දැන් මේ කතාව, මේ මොහොතේ දේශපාලනය දෘෂ්ටිවාදය මත පදනම් වෙනවා එතකොට ධනවාදය ඇවිත් ඇගේ හැපෙනවා කියන එක පැහැදිලි කරන්නේ කොහොමද? මේ උදාහරණයේ දෘෂ්ටිවාදය මත ගොඩ නැගුණු දේශපාලනය මොකක්ද? විද්වතා කියන විදියට “ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙනව කියල, එහෙම නැත්නම් ධනවාදය මානුෂිකකරණය කරනව කියල“ නොකිව්ව එකද? හැබැයි ඒ එක්කම කියනව “අපි මේ යහපාලනය ගැන කෙතරම් කතා කළත් ගැටලුව තිබෙන්නෙ එතැන නෙවෙයි“ කියලත්. ඒ කියන්නෙ යහපාලනය ද මෙතන දෘෂ්ටිවාදය? මහබැංකු සිද්ධිය කියන්නෙ ධනවාදය ඇගේ හැපීමද? එහෙම නම් ඒක සරලව කියන්න පුළුවන් නේ.

දැන් මේ මහ බැංකු සිද්ධිය කියන්නේ රාජ්‍ය මුදල් සම්පත් අයථා පරිහරණය කළ අවස්ථාවක්. මේක හරහා අපට “ප‍්‍රාග්ධනයේ තිබෙන අශ්ලීල (Obscene) කොටස හමුවෙනවා“ කියන එකේ තේරුම මොකක්ද? දැන් මේ සිදුවුණේ ප්‍රාග්ධනයේ අදෘශ්‍යමාන විශ්වීය ක්‍රියාවලිය ලංකාවේ යහපාලන දේශපාලන දෘෂ්ටිවාදයේ ඇඟේ හැපෙන එකද? මෙතන ප්‍රාග්ධනය ධනවාදයෙන් වෙනස් වෙන්නේ කොහොමද? මෙතන ධනවාදය සහ ප්‍රාග්ධනය අතර මේ විද්වතා කලින් කිව් වෙනස ස්ථාන ගත වෙන්නේ කොහොමද? මෙතන අශ්ලීල වෙන්නේ කිසියම් දූෂණයක් වෙච්ච එකද? ඒ කියන්නේ ප්‍රාග්ධනය සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න (decent) කියන එකද? දැන් “එය මීට පෙරත් නිර්වස්ත‍්‍රව ම සිද්ධ වුණා. නමුත් කවුරුවත් දැක්කෙ නැහැ“කියන්නෙ මහ බැංකුව ගැනද? නැත්නම් ලංකාවේ ප්‍රාග්ධනය ක්‍රියාත්මක වෙන හැටි ගැනද? ධනවාදය ක්‍රියාත්මක වෙන හැටි ගැනද? ලංකාවේ රාජ්‍ය අංශයේ සම්පත් අයථා ලෙස යොදා ගෙන පෞද්ගලික ධනය තර කර ගන්නා ආකාර ගැන මීට පෙර හෙලිදරව් කෙරීම් කෙරුණා නේද? ඉතින් මේක අලුත් දෙයක් වන්නේ යහපාලන ආණ්ඩුව බලයට ආ ගමන්ම එය සිදු කෙරුණු නිසා සහ එය වසන් කොට එයට සම්බන්ධ ප්‍ර‍ධාන පුද්ගලයා ආරක්ෂා කිරීමට රනිල් ක්‍රියාකළ ආකාරය නිසා නේද?

ඔන්න ඒ පාර ලේඛකයා අලුත් ප්‍ර‍ශ්නයක් අහනවා
“ට්‍රොට්ස්කිවාදය තුළ ම ස්ටාලින්වාදයත් තිබෙනවා කියල මම යෝජනා කළොත්?‘‘
the-origin-of-socialist-realism

මේ ප්‍ර‍ශ්නේ ආවේ කොහෙන්ද? දැන් මේ කතා කරන්නේ ජිජැක් ගේ අදහස් ගැනද? කතා කරන විද්වතාගේ අදහස් ගැනද කියලත් හිතාගන්න අමාරුයි.


“ දැන් මම ඔබේ දෙවන ප‍්‍රශ්නයට යොමු වෙන්නම්. ඔබේ ප‍්‍රශ්නය වෙන්නෙ ට්‍රොට්ස්කිවාදය තුළ ම ස්ටාලින්වාදය තියනවද කියන කාරණය. මෙය වඩාත් පැහැදිලි කරනවා නම්, ඒකාධිකාරී ස්වරූපය. එහෙමත් නැත්නම් සමස්තතාවාදී ලක්ෂණය. මේ අත්දැකීම ගැන සාපේක්ෂව කතා කරන්න අපි ලංකාව දෙසට ම හැරෙමු. ට්‍රොට්ස්වාදය තුළින් පමණක් නොවෙයි, අද දකින ලිබරල් ධනවාදය තුළින් ම තමයි අද දකින්න තිබෙන ඒකාධිකාරිය මතු වී තිබෙන්නේ. මෙච්චර කාලයක් ලෝකය ධනවාදය දැක්කෙ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දෙන දෙයක් විදියට. නමුත් අද ඒක වෙනස් වෙලා. අද ධනවාදය හොඳින් ම ක‍්‍රියාත්මක වෙන්නෙ ඒකාධිකාරිය හරහා. ඒක චීන සහ සිංගප්පූරු මොඩලයේ ධනවාදය. පසුගිය සමයේ ලංකාවෙ ක‍්‍රියාත්මක වෙන්න හැදුවෙත් මේ ක‍්‍රමය ම යි. “
මෙතන කියන්න හදනවා (අදහස කාගේද කියල කියන්නේ නැහැ) ලිබරල්වාදය සහ ධනවාදය අතර සම්බන්ධයක් ගැන. “ ලිබරල් ධනවාදය “ කියන්නේ මොකක්ද? නව ලිබරල්වාදය ද? “ මෙච්චර කාලයක් ලෝකය ධනවාදය දැක්කෙ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දෙන දෙයක් විදියට“ කියල කියනව. ලිබරල්වාදය යි ධනවාදයයි අතර ඇත්තටම මෙහෙම සම්බන්ධයක් තිබිල තියෙනවද? කවුද කියන්නේ? සාක්ෂි තියෙනවද? ලිබරල්වාදය කියල මෙතන කියන්නේ මොකක් ගැනද? ලේඛකයා විද්වතා පාඨකයා දන්නවද? “ අද ධනවාදය හොඳින් ම ක‍්‍රියාත්මක වෙන්නෙ ඒකාධිකාරිය හරහා“ කියල විද්වතා කියනව. මොකක්ද මේ “ඒකාධිකාරිය“ කියල පැහැදිලි නැහැ. ලෝකයේම ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ චීන සහ සිංගප්පූරු මොඩලයට අනුවද? එත කොට නව ලිබරල්වාදය කියන්නෙ මොකක්ද? මේ දෙකම එක මොඩලයේ ඒකාධිකාරයන් ද? සිංගප්පූරුව මුල සිටම ධනවාදී ආකෘතියකට හැඩ ගැසුන නමුත් චීනය සමාජවාදී ආකෘතියකට හැදිල දැන් ධනවාදී ආකෘතියකට මාරු වෙමින් ඉන්නවා නේද? එතකොට ඉන්දියාවේ ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ මොන ක්‍ර‍මයටද?

“ අනෙක් පැත්තෙන් බැලුවම සමාජවාදයේ ලක්ෂණ හරහාමත් ඒකාධිකාරී ලක්ෂණ මතුවීම“ කියල විද්වතා කියන කොට ඒක ලංකාවට අදාළ වෙන්න ඉස්සරවෙලා චීනයට අදාළ වෙනව නේද?

ඊට පස්සේ ලංකාවේ වම ගැන කතා බහ. “ අපි දන්නවා ලංකාවෙ තිබුණ වම තුළින් ම මේ ලක්ෂණ මතුවුණා. 71, 87-89, දෙමළ අරගලය හරහා අපි අත්වින්දෙ මෙන්න මේ කියන වාමාංශික ඒකාධිකාරිය “ කියල විද්වතා කියනව. මේ අවස්ථා තුනම එක හා සමානද? 71 ආයුධ සන්නද්ධ කැරැල්ල නැතහොත් නැගිටීම, රාජ්‍යය පෙරලා දැමීමේ 87-89 ත්‍ර‍ස්තවාදය මුල් කර ගත් උත්සාහය, දෙමළ අරගලය – මුලින් වාමාංශික මතවාදය මුල් කරගෙන ඇරඹුනත් පසුව එය ප්‍ර‍භාකරන් ගේ නායකත්වය යටතේ ත්‍ර‍ස්තවාදය බවට හැරෙනවා.
මේ වෙනස් අවස්ථාවල පෙන්නුම් කරන ඒකාධිකාරය සහ ත්‍ර‍ස්තවාදය දෙකම එකක් ද? ඒ වගේම මෙතන තියෙනවා වගේ පෙනෙන එල්ටීටීඊ සංවිධානය සහ ප්‍රභාකරන් ගැන විවේචනය ඔවුන් ගැන දීප්ති දැරූ ඔවුන් විමුක්තිදායකයන් විදියට සැළකීමේ ආකල්පයෙන් වෙනස් වීම වැදගත් කාරණයක්. මෙය මේ ගැන පෙරටුගාමී පක්ෂයේ නව ආස්ථානයද දන්නේ නැහැ.

මේ හා භෞතිකව ඒ තරම් දුර නොගියත් හරයෙන් එ හා සමාන අධිකාරවාදයක්ම නේද කාලයක් තිස්සේ X කණ්ඩායම ලංකාවේ දේශපාලනය මත මුදා හරිමින් ඉඳල තියෙන්නෙ. අදත් ඔවුන් සමාජය මත ප්‍ර‍චණ්ඩත්වය මුදා හරිමින් ඉන්නවා.

ඒ වගේම අපිට අමතක කරන්න බැහැ රාජ්‍යය මුල් කරගෙන ලංකාවේ සමාජයට එජාප වගේම ශ්‍රිලනිප රජයන් යටතේ දියත් වුණු රාජ්‍ය මර්ධනයට මුල් වන ඒකාධිකාරවාදී මානසිකත්වයට ලංකාවේ සමාජයේ ජන කොටස් දැක්වූ අනුමැතිය සහ සහයෝගය. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ සමාජයට දියත් කළ රාජ්‍ය මර්ධනකාරී ඒකාධිකාරවාදය ගැන විශේෂයෙන් අප සිතා බැලිය යුතුයි.දැන් විද්වතා කියනවා
“ ඇයි එහෙම වෙන්නෙ? ඒ ප‍්‍රශ්නයට ජිජැක් පිළිතුරු සපයනවා. ජිජැක් මේ සම්බන්ධයෙන් දක්වන අදහස වෙන්නෙ මේ කාරණය අවිඥානිකයි කියලා. මේ සම්බන්ධයෙන් දීප්තිත් යම් යම් අවස්ථාවල අදහස් දක්වා තිබෙනවා. අපි මහා අනෙකාට එහෙමත් නැත්නම් ස්වාමි හැඟවුම්කාරකයාට යටත් වීමට තිබෙන කැමැත්ත නිසයි මේ ඒකාධිකාරිය මතු වෙන්නෙ“ කියල.

ජිජැක් වගේම දීප්ති ත් අදහස් දක්වල තියෙනවලු. ඉතින් ජිජැක් ගේ අදහස් වලින් වෙනස්ව දීප්ති කියල තියෙන්නේ මොනවද කියල විද්වතා කියන්නෙ නැහැ.මේ අනුව ජිජැක් කියන්නේ වමේ ව්‍යාපාරය තුළින් ඒකාධිකාරවාදී බව මතුවීම “ අවිඥානිකයි“ කියලා. කොහෙන්ද මේ වමේ ඒකාධිකාරයේ අවිඥානික බව එන්නෙ? විද්වතා කියන්නේ ජිජැක් ට අනුව “අපි මහා අනෙකාට එහෙමත් නැත්නම් ස්වාමි හැඟවුම්කාරකයාට යටත් වීමට තිබෙන කැමැත්ත“ තමයි අවිඥානිකව අපි අධිකාරවාදී කරන්නේ.

මෙතන අපිට දැනගන්න නැති දේ තමයි මේ ‘මහා අනෙකා‘‘නැත්නම් ස්වාමි හැඟවුම්කාරකය‘කියල ජිජැක් අදහස් කරන්නේ මොකක්ද කියල. ඉතින් ගැමි තරුණයා මේක තේරුම් ගන්නේ කොහොමද? ජිජැක් ‘මහා අනෙකා‘ කියන්නෙ ලකානියානු අර්ථයෙන් ‘සංකේත පර්යාය‘ (symbolic order) ද?

ජිජැක් තම “ The Big Other Doesn’t Exist“ නමැති ලිපියේ දිගටම මේ ගැන කියන්නේ මෙහෙමයි the big Other (the symbolic order සංකේත පර්යාය ) big Other (the symbolic order that regulates social life සමාජීය ජීවිතය ක්‍ර‍මිකව හසුරුවන සංකේත පර්යාය)

http://www.lacan.com/zizekother.htm

මෙන්න සංකේත පර්යාය ගැන සරල අදහසක්.

The social world of linguistic communication, intersubjective relations, knowledge of ideological conventions, and the acceptance of the law (also called the “big Other”). Once a child enters into language and accepts the rules and dictates of society, it is able to deal with others.

භාෂාමය සන්නිවේදනය, අන්තර්විෂයීක සබදතා, මතවාදී සම්මතයන් පිළිබඳ දැනුම, නීතිය පිළිගැනීම (එනම් “මහා අනෙකා“) . ළමයෙකු භාෂාවට ඇතුළු වී සමාජයේ රීති සහ අණ පණත් පිළිගන්නා විට ඇයට අන් අය සමඟ ගණු දෙනු කළ හැකි වෙයි.

https://www.cla.purdue.edu/english/theory/psychoanalysis/definitions/symbolicorder.html

ජිජැක් මේ ගැන කරන සංකීරණ විග්‍ර‍හය ගැමි තරුණයාට කියා දීම මේ ලේඛකයා සහ විද්වතා එක්ව ඉදිරියේදී කරණු ඇතැයි අපි බලාපොරොත්තුවෙනව.

ඉතින් ඒ සංකීර්ණ අදහස් ගැන සාකච්ඡාව ඉස්සරහට තියල ඉහත සරල අදහස් මත, ‘මහ අනෙකාට එනම් සංකේත පර්යායට – යටත් වීමට අපේ ඇති කැමැත්ත අපි අවිඥාණිකව අධිකාරවාදී‘ බවට පත් කරනවා යන අදහස මත වමේ අධිකාරවාදය පැහැදිළි කරන්නඅවශ්‍යයි. ඒ සඳහා මේ ලිපියේ ලේඛකයා සහ විද්වතා පළකරන අදහස ගැන මූලික අදහසක් ගොනු කරන්න අපි කැමතියි.

අපි ජීවත් වන්නේ සංකේත ලෝකයේ. ඒකට අපි කැමති තමයි. ඒ අපේ ජීවිතය ඒක නැතුව ගෙනියන්න බැරි නිසා. ඒකට එකඟ වීම අපේ ජීවිතය පහසු කරනව. නමුත් අපි කවුරුත් අත් දැකීමෙන්ම දන්න විදියට අපි ආරම්භයේ සිටම ඒකට ප්‍ර‍තිරෝධය දැක්වීමත් කරනව. හැබැයි ඒ ප්‍ර‍තිරෝධය දැක්වීම අපට කරන්න වෙන්නෙත් එම සංකේත පර්යායෙන් පැනවෙන සීමාව ඇතුලෙම ඒකෙන්ම සැපයෙන සම්පත් යොදාගෙන තමයි. වෙන ක්‍ර‍මයක් අපිට නැහැ.

අධිකාරවාදය පිළිබඳ මේ ලිපියේ දී ඇති උදාහරණ වලින් කියැවෙන්නේ සංකේත ලෝකය හැසිරවීම තමන් ගේ අධිකාරය යටතට ගැනීමට නැත්නම් තමා මහ අනෙකා බවට පත්වීමට ඇති අපේක්ෂාවෙන් කටයුතු කිරීමක්. අනෙත් අතින් කියන්න පුළුවන් අධිකාරවාදය පිළිගන්න කැමති අය ඉන්නකං තමයි අධිකාරවාදයක් පිහිටුවන්න පුළුවන් වෙන්නෙ. අධිකාරවාදය පිහිටුවීමට හවුල්කර ගන්නෙ එවැනි අය. අනිත් අය මත අධිකාරවාදය බලෙන් පටවන්න. උදාහරණයක් වශයෙන් 1971 ජවිපෙ ට බැඳිල එහි මතය අවිචාර‍යෙන් පිළිගත්තඅය එහි අධිකාරවාදය පිළිගත්අය. අනිත් අවස්ථා දෙකේමත් එහෙමයි. නමුත් සමහරු අධිකාරවාදය ඔවුන් මත පනවපු නිසා මර්ධනයට බයේ මේ සංවිධාන වල රඳවා ගත්තා වෙන්නත් පුළුවන්.

සංකේත පර්යාය ඇතුලේ හැර ක්‍රියා කරන්න වෙනත් තැනක් නැති නිසා ඒ තුළ සිටියත් ඒකෙන් කියවෙන්නේ නැහැ එතුළ සිටින හැම දෙනාම ඊට යටත් වීමේ කැමැත්තෙන් ඉන්නව කියල.

අධිකාරවාදයේ මූලයන් පදනම් කුමක්ද කියන එකයි සිතා බැලිය යුතු කාරණය. කාලාම සූත්‍ර‍ය වගේ අධිකාරවාදයට එරෙහිව යන අදහසක් එන්නෙත් සංකේත පර්යාය ඇතුලෙන්ම නේද? එතකොට කෙනෙක් කියන්න පුළුවන් කාලාම සූත්‍ර‍යමත් සංකේත පර්යායේ කොටසක් කියල. ඒ අර්ථයෙන් ගත්තොත් තමයි සංකේත පර්යායෙන් පිට තැනක් අපට නැහැ කියන්නේ ක්‍රියාත්මක වෙන්න. ඉතින් සංකේත පර්යාය ඇතුලේ සිටින නිසාම මිනිස්සු හැමෝමත් අධිකාරවාදී නැහැ. ප්‍රජාතන්ත්‍ර‍වාදය වගේ අදහස් මානව සමාජයේ මතුවෙලා තියෙනව අධිකාරවාදයට එරෙහිව.

“ භාෂාමය සන්නිවේදනය, අන්තර්විෂයීක සබදතා, මතවාදී සම්මතයන් පිළිබඳ දැනුම, නීතිය පිළිගැනීම“ මේ හැම එකක්ම සමාජ පර්යාය පවත්වාගෙන යාමට මානවයන්ට උදවු වෙනව. ගැටලුව වෙන්නෙ මේව අධිකාරවාදයක් බවට හැරවෙන්නේ කොයි අවස්ථාවෙද කුමන හේතු නිසාද කියන එකයි. භාෂාමය සන්නිවේදනය මානව පැවැත්මේ පදනමයි. එය පදනම් කොට ගෙන තමයි අපි අන්තර් වෛෂයික සබඳතා ගොඩ නගන්නෙ. මතවාදී සම්මතයන් පිළිබඳදැනුම අපට මේ සඳහා ආරම්භයක් සපයනව. නීතිය පිළිගැනීමෙන් අපි සමාජීය කටයුතු කිරීමට රාමුවක් සපයා ගන්නව. සමජායක් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී වන තරමට සංකේතමය පර්යාය මේ ආකාරයෙන් අපට ස්වාධීන වීමට අවශ්‍ය රාමුව සපයනවා මිස අප ඊට සහමුලින් යටත් කරගන්නේ නැහැ. වෙනත් විධියකින් කියනවා නම් සංකේතමය පර්යාය අපව අනිවාර්යයෙන් එයට යටත් කර ගන්නෙ නැහැ. සම්මතයට අනුව ජීවත් වීම අපි අධිකාරවාදී කරන්නේ අධිකාරවාදී සංකේතමය පර්යායක් තිබෙන තැනකයි. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී තත්වයන් යටතේ සංකේතමය පර්යායට යටත් වීමට ඇති කැමැත්ත එන්නේ කොහෙන්ද?

ජිජැක් කියන්න හදන්නෙ අධිකාරවාදයට යටත් වීමට ඇති කැමැත්ත අවිඥාණකව අපි අපේ පැවැත්මට ඇතුළු කර ගන්නා සංකේතීය පර්යායෙන් පැන නගින එකක් කියලද නැත්නම් ඊට අහු නොවෙන ඊට පෙරාතුව පවතින අපේ මානව සත්ත්ව ස්වභාවයෙන් පැණ නගිනව කියලද? දෙවෙනි අදහසේ තියෙනව මානව ස්වභාවයක් පිළිබඳ අදහසක්. ඒ කියන්නේ මානවයා ස්වභාවයෙන් ම ප්‍ර‍චණ්ඩවාදී නැඹුරුවක් ඇති කෙනෙක් කියන අදහස. මේක මානවයා පිළිබඳ සත්‍යයක් නෙවෙයි. නූතනත්වය යටතේ ගොඩ නගන ලද අදහසක්. මෙය හොබ්ස් සහ ෆ්‍රොයිඩ් ගේ අදහස් මත වර්ධනය කෙරුණු අදහසක්.

මෙම ලිපියේ මෙම කොටසේ අවසානයට මෙහෙම ලියනවා.

“ ලංකාවෙ සමාජවාදය පිළිබඳ කතා කරන හැම දේශපාලන පක්ෂයක් ම ආරම්භ කරන්නෙ මනෝමූලිකතාවයෙන්. මම දන්න විදියට වාස්තවික තත්ත්වයෙන් වෙනත් විදියකින් කියනවා නම් මනෝමූලිකත්වයෙන් බැහැර වෙලා විචාරය ගෙනාවෙ දීප්තිලා.“

ඉතින් මොකක්ද මේ දීප්ති ගේ වාස්තවික විචාරය? ඊළඟ කොටසින් කියවන්න ලැබෙයි නේද?

මතු සම්බන්ධයි

සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත